මිල වෙනස්වවීමක ප්‍රතිවිපාක
ඇත්තටම මේක ඉතාම වැදගත් කොටසක් වගේම මේක තමයි අපි මෙච්චර කතා කරපු පාරිභෝගික හැසිරීම් න්‍යායේ අවසානය.
ඉතින් උසස් පෙල ආර්ථික විද්‍යාව කරපු ඕන අයෙක් දන්නවා ඉල්ලුම් නීතියට හේතු. හැබැයි උසස් පෙලදී ඒ හේතු මූලිකව හඳුනාගන්නවා මිස ඒවා ගැඹුරින් අධ්‍යයනය කරන්නෙ නෑ. අන්න ඒවා අපි දැන් ගැඹුරින් හේතු සහිතව වෙන විදිය තමයි අධ්‍යයනය කරන්න යන්නෙ.
එසේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ඇති ප්‍රතිලෝම සබඳතාවයට බලපාන මූලිකම සාධක 2 කි.
1. මිල වෙනස්වීමක ආදේශන ප්‍රතිවිපාකය.
2. මිල වෙනස්වීමක ආදායම් ප්‍රතිවිපාකය.
යම් භාණ්ඩයක මිල වෙනස්වීමක් හරහා ඇති කරන ප්‍රතිවිපාක.
මෙතනදී අන්වාර්‍යයෙන්ම මේ සඳහා අදාල වන උපකල්පන ටික ඒ විදියටම , ඒ අවස්ථාවට අනුව හරියටම මතක තබා ගන්න වගබලා ගන්න.
උපකල්පන ,
1. අනෙකුත් පරිභෝජන භාණ්ඩ වල නොවෙනස්ව පැවතීම.
2. පාරිභෝගිකයාගේ මුදල් ආදායම නොවෙනස්ව පැවතීම.
3. පාරිභෝගිකයාගේ එම භාණ්ඩය සම්බන්ධයෙන් පවත්නා රුචිකත්වය ස්ථාවරව පැවතීම.
4. සලකා බලන භාණ්ඩයේ පමණක් මිල වෙනස් වීම.
එසේ මෙවැනි උපකල්පන යටතේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස්වීම නිසා එම භාණ්ඩයට ඇති ඉල්ලුම කෙරෙහි ඇතිවන ප්‍රතිවිපාක 2 කි.
එම දෙකේ එකතුව මුලු ප්‍රතිවිපාකය ලෙස හැඳින්වේ.
🔴 මුලු ප්‍රතිවිපාකය = ආදේශන ප්‍රතිවිපාකය + ආදායම් ප්‍රතිවිපාකය
සරලව අපි දන්නව භාණ්ඩයක මිල වෙනස් වුනාම ප්‍රමාණයත් වෙනස් වෙනවා කියල. අන්න ඒ විදියට මිල වෙනස් වුන පලියට ඊට අනුරූපව ප්‍රමාණය අඩු හෝ වැඩි කරවන්නේ මෙන්න මේ ප්‍රතිවිපාක දෙන්නා එකතු වෙලා තමයි. ඒ දෙන්නා විසින් ඇති කරන බලපෑමේ අවසාන ප්‍රතිවිපාකය හෙවත් මුලු ප්‍රතිවිපාකය තමයි මිලට අනුරූපව ප්‍රමාණය වෙනස් වීම.
එසේ,
🔴 මිල වෙනස්වීමක ආදේශන ප්‍රතිවිපාකය ( Substitution Effect -SE ) යනු,
සලකා බලන කාලපරිච්ඡේදය තුල,
පරිභෝජනය කරන අනෙකුත් භාණ්ඩ වල මිල නොවෙනස්ව පවතින විට හා,
පාරිභෝගික මුදල් ආදායමද ස්ථාවරව පවතින විට ,
විශේෂයෙන්ම පාරිභෝගිකයාගේ උපයෝගීතාවය නොවෙන්ස පවතින විට ( මෙය ඉතාම ඉතාම වැදගත්..),
සරලවම ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සියලූම සාධක නොවෙනස්ව පවතින විට , සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වීම මත ඇතිවන සාපේක්ෂ මිල වෙනසේ ප්‍රතිඵලයක් ලෙස සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනස් වීම වේ.
අන්න ඒ විදයට ආදේශන ප්‍රතිවිපාකයට අදාල උපකල්පන ටික හරියටම මොනවද කියන එක මතකයේ තබා ගැනිම අනිවාර්‍යයි.
මේකෙ සිද්ධිය මේකයි.
භාණ්ඩයේ මිල වෙනස් වුන ගමන් මේ ආදේශන ප්‍රතිවිපාකයෙන් ප්‍රමාණය යම් කසි ප්‍රමාණයක් තල්ලු කරනවා.
ඉතිරි ටික තල්ලු කරල දෙන්නෙ ආදායම් ප්‍රතිවිපාකය විසින්. ඕක වෙද විදිය තමයි අපි මේ කතා කරන්නෙ.
උදාහරණ විදියට ,
මිල 5 කින් වැඩි වුන ගමන් සමස්ත ඒකක ප්‍රමාණය 10 කින් අඩු වුනි කියල හිතන්න.
ඉතින් මේ 10 කින් අඩු කරේ වෙන කවුරුවත් නෙවේ. දැන් මේ කතා කරන ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක දෙන්නා එකතු වෙලා.
ආදේශන ප්‍රතිවිපාකය විසින් ප්‍රමාණය 6 කිනුත්, ආදායම් ප්‍රතිවිපාකය විසින් ප්‍රමාණය 4 කිනුත් අඩු කරා. දෙන්නම එකතු වෙලා , 10 කින් අඩු කරල. හරි සරලයි.
ඉතින් පහිතන් මේකට අදාල උදාහරණය පවතිනවා.
තරුෂි මේ වෙලාවෙ X හා Y කියල සාමාන්‍ය භාණ්ඩ දෙකක් පාව්චිචි කරනවා. මේ දෙක එකිනෙකට ආදේශක වෙනවා. හිතමු අපි බත් හා පාන් කියල.
මෙතනදි සලකා බලන භාණ්ඩය X.බත්
අනෙකුත් භාණ්ඩ වෙන්නෙ Y .පාන්
හිතන්න හාල් වලින් දැන් ඒකක 10 ක් සහ, පාන් වලින් ඒකක 5ක් දැනට පරිභෝජනය කරනවා කියල.
එක පාරම හාල් මිල වැඩිවෙනවා. හැබැයි අපි මුලදීම කිව්ව අනෙක් භාණ්ඩ වල මිල වෙනසක් නෑ. ආදායම් වෙනසකුත් නෑ කියල. ඉතින් මොකද වෙන්නෙ. මෙයාට වෙනදා වගේ හාල් ගන්න වෙන්නෙ නෑ. හැබැයි කන්නත් ඕන. ඒ නිසා මෙයා හාල් අඩු කරලා පාන් ප්‍රමාණය වැඩි කරනවා. අන්න මොකද වුනේ හාල් වෙනුවට පාන් ආදේශ කරපු නිසා, හාල් මිල වැඩි විමත් එක්ක හාල් ඒකක ප්‍රමාණය අඩු වුනා. ඒ කියන්නේ ආදේශ කිරීම මත ආදේශන ප්‍රතිවිපාකය ඇතිවුනා.
( භාණ්ඩ අතර සාපේක්ෂ මිල වෙනස මත ආදේශන ප්‍රතිවිපාකය ඇතිවේ.)
මිල වෙනස්වීමක ආදායම් ප්‍රතිවිපාකය ( Income Effect - IE)
බලන්න මෙතන උපකල්පන ටික,
සලකා බලන කාලපරිච්ඡේදය තුල ,
1. අනෙකුත් භාණ්ඩ වල මිල නොවෙනස්ව පවතී.
2. මුදල් ආදායම ද නොවෙනස්ව පවතී.
3. නමුත් සලකා බලන භාණ්ඩයේ මිල මෙන්ම උපයෝගීතාවයද වෙනස් වේ. ( හොඳින් මතක තබා ගන්න )
මෙලෙස උපයෝගීතාවය හා භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව පවතින විට භාණ්ඩයේ මිල වෙනස් වීම මත ඇතිවන ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම වේ.
( ආදායම් ප්‍රතිවිපාකය ඇතිවන්නේ, මූර්ත ආදායම වෙනස්වීම නිසාවෙනි.)
කලින් උදාහරණයම,
තරුෂි හාල් හා පාන් යන සාමාන්‍ය භාණ්ඩ දෙක දැනට එකවර පරිභෝජනය කරනවා.
තමන්ගේ මුලු ආදායමම භාණ්ඩ වර්ග දෙකට වියදම් කරනවා නම් ,
මුලු ආදායම 1000 යි.
හාල් ඒකකයක් 100 යි.
පාන් එකක් 50 යි නම්.
එයා 600 ක්ම හාල් වෙනුවෙන් වියදම් කලා නම් නම් දැනට හා පරිභෝජනය කරන හාල් ඒකක ගණන (600/100 ) 6ක්.
ඒ කියන්නෙ හාල් සම්බන්ධ මූර්ත ආදායම හාල් ඒකක 6ක්.
නමුත් දැන් එකවරම හාල් මිල 200 ක් වුනා නම්. දැන් 600 ක් වියදම් කරල ගන්න පුලුවන් හාල් ඒකක 3 ක් නේද ? ඒ කියන්නෙ හාල් සම්බන්ධ මූර්ත ආදායම ඒකක 6 සිට 3 දක්වා අඩුවෙලා නේද?
අන්න මේක තමයි මිල වෙනස්වීමක ආදායම් ප්‍රතිවිපාකය කියන්නෙ,
සලකා බලන භාණ්ඩයේ මිල වෙනස්වීම නිසා පාරිභෝගිකයාගේ මූර්ත ආදායම අඩුවෙනවා. ඒ නිසා පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය අඩුවෙලා , මිල වැඩීවිම නිසා.
මේ විදියට මිල අඩු වීම හා වැඩී විම කියන දෙපැත්තම හිතලා බලන්න.





Comments
Post a Comment